වෙලාව රාත්‍රී නවය පසු වී මිනිත්තු කිහිපයක් ගත වී තිබෙන්නට ඇත. මේ වන විට අප සිටියේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පිරිමි විවේකාගාරයට වී රාත්‍රී ආහාර ගනිමින්ය.
"කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන ස්‍රීඝ්‍රගාමි දුම්රිය නියමිත වේලාවට වඩා මිනිත්තු විස්සක් පමණ ප්‍රමාද වී ධාවනය වන බව මගීන් කරුණාවෙන් සළකන්න."
ගමන පටන් ගන්නට කලින්ම බාධා අපට ආවේය. කටට දෙකට ගිලින්නට ගත් බත් පත නිවී සැනසිල්ලේ රස බැලීමටනම් ඉන් අවස්ථාව ලැබුණි.
මේ ඇල්ල බලා දුම්රියෙන් ගිය අපේ චාරිකාවයි. ගියේනම් ටික කාලෙකට කලින් හැබැයි මතකයන් තාම අලුත් ඒවා කවදාවත් පරණ වෙන්නේ නැති බව නම් කිව යුතුමයි ...

අසල සිටි තවත් කොල්ලන් රෑනක් ගීතයක් මුමුණන්නට ගත්තෙන් අපද ඊට සම්මාදන් වූයේ දුම්රිය ගමනාන්තයට ළගා වන තුරු පැය ගණනක කාලයක් ගත කරන්නට අපට තිබූ නිසාවෙනි. ඒ අතර පේරාදෙනිය හන්දියේදි දුම්රිය මාර්ගය මාරු කිරීමට දුම්රිය අාපසු හරවා ගමන් කිරීම අපේ කාණ්ඩයේ දහදුරා කටවල් අරවන්නට සමත් විය.
"කොච්චිය ආපහු යනවා මෙතනින් එහාට යන්නේ නෑ. අද ඇල්ලේ යන්න වෙන්නේ නෑ.. " මෙලෙස බොහෝ කෙලි කවටකම් මැද නැවතත් ඉදිරිය බලා බදුලු දුම්රිය ගමනේ යෙදුණි. හැටන් වලට ලං වත්ම දුමරියේ සෙනග මදක් අඩු වූවද ආසනයක් ලබා ගැනීමට තරම් අප කවුරුත් වාසනාවන්ත නොවූවෙමු.
දුම්රියේ හිටගෙනම අපේ ඈයෝ ඕමි අතකට මුල පිරුවේ මේ මහා රාත්‍රීයේ නිදි වර්ජිතව අප සිටියද දුම්රියේ සැපට නිදාගෙන සිටින්නන් හට අප ගීත ගැයීම දිගටම සිදු කළහොත් බාධාවක් වන බැවිනි. හැටන් වලදී තවත් සෙනග අඩු වූයෙන් අප දුම්රියේ බිම වාඩි ගතෙමු. සුළු මොහොතකට පසු මාත් තවත් එක් මිතුරෙකුත් දුම්රිය පා පුවරුව වෙත පැමිණ පා පුවරුවේ වාඩි ගත්තෙමු. දුම්රිය කෙමෙන් පට්ටිපොල ආසන්නවත්ම පා පුරුවට ආවේ පූරුවේ පවකටදැයි හිතෙන තරමට සීතල දැඩි වූ. නමුත් ඒ සීතල අතහැර දුම්රිය තුලටයෑමට හිත ඉඩ දුන්නේ නැති හෙයින් සිතල විදගනම දුම්රිය තුලට බර වී කෙටි නින්දක සුව වින්දෙමි.
දුම්රිය බණ්ඩාරවෙලට ලංවෙද්දී උදෑසෙන 7 පසු වී තිබුණි. අපේ අයෙකුගේ පෙම්වතියක් බණ්ඩාරවෙල සිටි බැවින් උන් දෙදෙනාට විනාඩි කිහිපයක හෝ පෙම් හමුවකට ඉඩ දී අප දුම්රිය ස්ථානයේ රෑදි සිටියේ පලමු ගමනාන්තය වු ලිප්ටන් සීට් පිළිබඳ සිහින දකිමිනි. අප මිතුරියගේ මග පෙන්වීම අනුව පූනාගල බසයක නැගුණු අප නායබැද්ද වතුයාය ආසන්න වන තෙක් බස් රථයෙන් පැමිණ එහි කොන්දොස්තරවරයාගේ මග පෙන්වීම අනුව වත්යාය මැදින් අපේ ගමන ආරම්භ කළේ ඈත කඳු මුදනත පෙනෙන සන්වේදන කුළුණ දෙස බලා එම ස්ථානයට මදක් ඔබ්බෙන් පවතිනවායි කියන ඒ සුන්දර ලෝකය දැක ගැනීමේ ඒකායන බලාපොරොත්තුවෙනි. තාර දමා සකසන ලද මාර්ගය ඔස්සේ අපි දිගටම ගමන් කලෙමු. ගතට වෙහෙස දැනෙන්නට වුවත් ඒ නොතකා දිගටම අපි ගමන් කලෙමු. කි. මී. ගණනාවක් ගමන් කලද අප සන්නිවේදන කුළුණ ආසනනයටවත් පැමිණ නොසිටියෙමු. නැවැත් වූ ලොරි රථයක සිටි මිනිසෙක් කැඩුණු සිංහලෙන් අපට කතා කලේය.
" ෆැක්ටරිය ලගට යනකන් ගියෑකි නගින්න"



"ඔතනින් එහාට යනන එපා කරන්ට් එක ඇදලා තියෙන්නේ"


කට පුරා සිනහා පුරවා අප ලගට පැමිණි මිනිසෙක් මේ වෙලාවේ කන්ද නැගය නොහැකි බවත් පයින් යෑම කෙසේවත් නුසුදුසු බවත් කන්දේ මගක් තම වෑන් රථයේ යා හැකි බවත් පැවසූ නමුදු ඒ කථා මායිම් නොකළ අප මාර්ගයේ ගමන් කල කාන්තාවකගෙන් මග විමසා ගමන් ඇරඹීමු.

" මල්ලිලා අද කන්දේ රෑ දෙසීයක් විතර ඉන්නවා උඩ ඉන්න තැනක් නැතිවෙයි."

මද දුරක් ගමන් කළ පසු අපට වැටහී ගියේ මාර්ගය කන්ද වටා ගමන් කරන බවය. ගොම්මන් අදුර මැද්දේම අපි නැවතත් හිතුවක්කාරීව මාර්ගය වෙනස් කර ලදු කැලෑ මැද්දෙන් මාර්ගයෙන් පිට පැන කන්ද කෙලින් තරණය කරන්නට පටන් ගතිමු.
This way this way සුදු මිනිසෙකුගේ අපට අත වනමින් හඩ නගන්නට විය. අපට මග පෙන්වා තිබුනේ වෙනත් පාරකට බව වැටහුනේ එම සුදු මිනිසා නිවැරදි මාර්ගයෙන් කන්ද තරණය කර නැවත පල්ලම් බහිමින් සිටි නිසාවෙනි. ඔහුට ස්තුතිකල අප නිවැරදි මාර්ගයේ කන්ද තරණය කරන්නට පටන් ගතිමු. මානා වලින් ගහන ප්‍රදේශයක් පසු කළ අපට කුඩා සමර්හට් එකක් මුණ ගැසුණි. එහි යම් යම් ආහාරත් පානිය ජල පහසුකමුත් සනීපාරක්ෂක පහසුකම් යම් මට්ටමකිනුත් තිබුණි. අප එම ස්ථානයේ එක තත්පරයක් හෝ රැඳී නොසිට දිගටම ගමනේ යෙදෙනෙමු. ඉන් අනතුරුව ෆයිනස් ගස් වලින් සමන්විත කොටසක් පසු කළ අපට තැනිතලා භුමියක් හමු වුයෙන් අදුරේ තවත් කන්ද තරණය කිරීම වෙනුවට එම තැනිතලාවේ කූඩාරම් ගැසීමට අප තීරණය කෙලෙමු. වහ වහා ක්‍රියාත්මක වූ අපි අපට සෑහෙන සේ කූඩාරම් සකසා ගත් නමුදු ඒ වන විටත් අපට එකතු වීමට අපගේ තවත් මිතුරන් දෙදෙනකු පැමිණෙන බව දන්වා සිටීමෙන් අපට ඉඩ පහසුකම් පිළිබඳ ගැටලුවකට මුහුණ පාන්නට සිදු වන බව අපට වැටහුණු නමුත් ඒ පිළිබඳ ගත හැකි ක්‍රියා මාර්ගයක් අපට නොවීය. රාත්‍රී අට පමණ වන විට මිතුරන් දෙදෙනාත් පැමිණි බැවින් අප රාත්‍රී ආහාරය ලෙස ගෙන ආ ක්ෂණික නූඩ්ල්ස් පැකට් කිහිපය සකසා ගතෙමු. රැගෙන ගිය විදුලි පහන් වල බැටරි ආරෝපණය අවසන් වනතුරුම නොනිදා ගත කල අප කුඩාරම තුලට වී මොහොතකට නිදි සුව විදිමින් සිටියෙමු. මා හටද යන්තම් නින්ද ගියා පමණි. කකුලේ මහපට ඇඟිලි හරහා තද සීතල හුලං පහරවල් ඇදී යන බවක් දැනුනේන් නින්දෙන් පිබිදුනු මා මාගේ මුහුණ වැසෙන්නට දමාගෙන සිටි ජැකැට්ටුවේ හිස් වැසුම ඉවත් කල විට නෙත් ඉදිරියේ ඉහලට වැඩුණු තුරු මුදුන් හා යන්තම් වැටුණු හඳ එලියත් තාරුකාත් පෙනෙන්නට වූයෙන් කූඩාරමට සිදු වූයේ කුමක්දැයි සිතාගත නොහැකි වුයෙන් වහා නැගී සිටියෙමි. සිදුව තිබුණේ නවක සාමාජිකයන් දෙදනාටත් සමග ඉඩ ප්‍රමාණවත් නොවුවෙන් ඔවුන් කූඩරමේ ඉහල ආවරණයද බිමට එලා ගැනීමට දුර දිග නොබලා ක්‍රියා කර තිබීමයි. එහි ප්‍රතිඵල වැඩි වේලාවක් යන්නට මත්තෙන් අපට විදින්නට සිදු විය. කන්දේ අතරමග අප සිටි නමුදු කපොල්ලක් වැනි වූ එම ස්ථානය හරහා හමා ගිය දැඩි සීතල සුලං දාරාවන් අපව ගල් කලා කිවහොත් නිවැරදිය. වහා ගිනිමැලයක් දැල් වු අප කණ්ඩායම එයට වට වී එතැන් සිට නිදි වර්ජිතව රාත්‍රිය පහන් කලෙමු.

කිතල් ඇල්ල ආසන්නයේ වූ කුඩා රොටී කඩයකින් උදේට රොටී කා ප්ලේන්ටි බිවු අපි කොළඹ තරු පන්තියේ හෝටලයකට සමාන බිලක් ද ගෙවා දමා කඩහිමියාගෙන් ලබාගත් තොරතුරු අනුව පෙරදා මග පෙන්වන්නා අපට පෙන් වූ මාර්ගය දිගේ ගමන් කලේ කන්ද හරහා ගොස් ඇල්ල වැල්ලවාය මාර්ගයට සේන්දු වී රාවණාඇල්ල බලා ගමන් කිරීමටය. පහල නිම්නයන් දෙස බලමින් කන්ද හරහා ගමන් කල එම ගමන පුංචි කාලයේ කියවූ හෙයිඩි ළමා කතාව සිහිපත් කරවන්නට තරම් මා සිත තදින් වෙලා ගත් බව මේ දැන්ද සිහපත් කරන විට මට නැවත එහි යන්නට ඇත්නම්යැයි සිතෙන තරමටම චමත්කාරජනක විය. පහලට යන්නට යන්නට කුඩා පැල්පත් කිහිපයක්ද මුණ ගැසුණ අතර ඔවුන් සමග නැවතී මොහොතක් දොඩමලු වන්නට ද අප අමතක නොකෙළෙමු. අවසානයේ රාවනා ගුහාවට යන මාර්ගයට පිවිසීමට සමත් වූ අපි රාවනා ගුහාව මෙවර සංචාරය සඳහා ගමනාන්තයක් කරගෙන නොතිබූ බැවින් මහා මාර්ගය දෙසට ගමන් කළෙමු. මහා මාර්ගයට පිවිස ලංගම බසයක ගොඩ වී ඉතා කෙටි ගමනකින් රාවණාඇල්ල වෙත ලඟා වුවෙමි. රාවණා ඇල්ලේ සීතල ජල කඳේ පහස ලබා ගත් අප නැවත බස් රථයක් භාවිතා කරමින් ආරුක්කු නවය පාලම නැරඹිම සඳහා ඇල්ල පස්සර මාර්ගයේ පැමිණ ආරුක්කු 9 පාලම මාර්ගය අසලින් බැස ගතිමු. එතැන් සිටත් නැවතත් කි.මී. පහක පමණ පා ගමනක් ඉතිරිව තිබු හෙයින් අසල තිබු කඩයකින් කුසගිනි නිවා ගත් අපි කකුල් දෙකේ පිහිටෙන්ම ආරුක්කු නවය නැරඹිම සඳහා ගමන් කලෙමු. හොදින් සකස් කල මාර්ගයක් ඔස්සේ ගමන් කල අප ගම්වැසියන්ගේ මග පෙනවීම ඔස්සේ ගොස් දුම්රිය මාර්ගයට ගොඩ වී එතැන් පටන් දුම්රිය මාර්ගයේ ගමන් කර ඒ අපූරු විස්මිත නිර්මාණය අත්වින්දෙමු. එවකටනම් ආරුක්කු නවය පාලම නැරඹීම මෙකල තරම් කලබලකාරි නොවූ බවනම් කිව යුතුය බොහෝ විට සිටියේ විදේශීය සංචාරකයන් කිහිප දෙනෙක් පමණි. නැවතත් පා ගමණින්ම පස්සර මාර්ගයට පැමිණි ඇල්ල හපුතලේ මාර්ගය හරහා පැමිණ දෙමොදරට පැමිණෙන විට සවස පහ පමණ වන්නට ඇත. විනාඩි විස්සක පමන පා ගමනකින් අපි දෙමෝදර දුම්රිය ස්ථානයේ වීමු.ශ්‍රී ලංකා දුම්රිය ගමන්මගේ වැදගත්ම ස්ථානයක් වන දෙමෝදර රේල් ගැටය ඔස්සේ අතුරුදන් වී නැවත පැමිණෙන දුම්රියක් නැරඹීමේ භාග්‍යය හිමි කරගත් අප එම දුමිරිය ස්ථානයෙන්ම ආපසු පොල්ගහවෙල බලා එන දුම්රියකට ගොඩවීමු. පසුදා පහන් වන විට පොල්ගහවෙල දුම්රිය ස්ථානයට පැමිණි අපි යන්තමින් හිරු උදා වෙද්දී ඒ අපූරු සංචාරයේ නිමාව සනිටහන් කරන්නට සමත් වීමු. දින දෙකක සංචාරයට එකතු කර නොගත් තවත් ස්ථාන කිහිපයක්ම ඉන් පසු සංචාර වලදි අප ගමනාන්තයන් බවට පත් කර ගත්තෙමු. එම සංචාරයන් අලුත් පොස්ට්ටුවක් හරහා ගෙන ඒමේ බලාපොරොත්තුවෙන් අදට සංචාරක සටහන නිමා කරන්නෙමු. සංචාරය කරන සංචාරයට ආදරය කරන ඔබ පරිසරයට ද ආදරය කරනු ඇතැයි අප බලාපොරොත්තු වන්නෙමු.
ඇල්ල මුදුනත ඡායාරූප එකතුව
😍Niyamai lahiru aiye...
ReplyDelete